Sunday, February 18, 2018

ස්වප්නාගේ දානය, චන්දරේ ගේ මඟුල, එරික්ගේ ඔරොප්පුව සහ කේටරින් සර්විස්.


'අපට ලැබෙන්නේ අප බලාපොරොත්තු වන දේ නොවැ අපට හිමි දේය'! මේ කතාව මම ස්වප්නාට කීවේ මේ ඊයෙ පෙරේදා මඟුල් ගෙදරකදී ස්වප්නා මුණ ගැසුණු වේලාවේය.    පහුගිය මාසයේ එක දිගට මඟුල් ගෙවල් කීපයකම යන්නට වුන අතර ඒවායින් සමහරක් හෝටල්වල තිබුණු අතර අපිත් එක්ක වැඩකරපු පැරණිම සගයෙක් වන චන්දරේ ගේ බාල දුවගේ මඟුල ගත්තේ ගෙදරමය.    දැන් දැන් ගෙවල්වල ගන්නා මඟුල් වලට යන්නට ලැබෙන්නේ කලාතුරකින් නිසාත් අපේ පරණ යාළුවන් ඔක්කොම පාහේ මුණගැහෙන දවසක් නිසාත් මම සතුටින්ම මඟුල් ගෙදර ගියෙමි.    

චන්දරේගේ ගෙයත් වත්තත් හොඳට ඉඩකඩ තිබෙන නිසා වත්ත හැමතැනම මඩු ගසා සරසා පුටු මේස තබා එන අයට වාඩිවෙන්නට ලෑස්ති කර තිබුණු අතර සංගීත කණ්ඩායම සඳහාද අති විශාල වේදිකාවක් ඉදිකර තිබෙනු දක්නට ලැබිණ.  සංගීත කණ්ඩායමට අමතරව උඩරට නැටුම් කණ්ඩායමක් සහ ඉන්දියන් විදියට ඇඳගෙන බෙර ගහමින් සිංදු කියන කණ්ඩායමකුත් වරින්වර වැඩ පෙන්නුවේ ඇවිත් හිටපු අයගේ විනෝදය සඳහාය.   මඟුල් ගෙදර අපේ පරණ යාළුවන් ඔක්කොම වගේ කල් වේලා නොඉක්මවා ඇවිත් සිටියෝය.   ස්වප්නා සාරියකුත් ඇඳගෙන ඇවිත් හිටියේ පොඩි ඇතින්නියක් වගේය.    ඇයගේ රුව පැරණි කවි සමයෙන් වනනවා නම් ගන්නට තියෙන කවිය වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණියේ එන මේ ප්‍රසිද්ධ කවියයි.

සිසිවන උවන සිහිනිග ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙ පුරඟන
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

ස්වප්නා ගේ සිහිනිඟ නම් මිටින් තියා දෑත බදලා වත් අල්ලන්නට හැකි වෙන්නේ යන්තමිනි.   පුළුලුකුළ නම් හරියටම කවියේ කිව්වාක් මෙන් රිය සකයුරුමය.   පොඩි පරහකට තියෙන්නේ පුළුලුකුළ පමණක් නොවැ  උඩ ඉඳන්  පහළට මුළු ශරීරයම රියසක යුරු වීමය.   තිසර තන ගැන වනන්නට පැරණි කවි සමය අතහැර නූතන කවියක පිහිට ලබන්නට කැමැත්තෙමි.

පළමුව දෙළුම් රැක්කා
දෙවනුව තැඹිලි වික්කා
පසුව වට්ටක්කා
වැලක එල්ලී සිටිනු දැක්කා

ඉතින් ස්වප්නාගේ රූප සොබාව වැනිල්ල නවතා ආපහු කතාවට ගියොත් ගේ ඉස්සරහ පැත්තේ තිබුණු හට්වල සෙනගද සද්දේද වැඩිය.   සංගීතය පටන් ගත්තායින් පසුව සද්දෙ දෙගුණ වී ළඟ ඉන්න එකා කියන දේද නෑහෙන තරම් නිසා කට්ටියම පුටුත් අරගෙන ගිහින් වාඩි වුණේ ගෙයි පිටිපස්ස පැත්තට වෙන්නටය.   එතැන හට් නැති උනාට වටේ ගස් තියෙන නිසා සෙවනය.   අපි කට්ටිය වාඩිවී සිසිල් බීමකුත් බොමින් ආගිය කතා සහ පරණ කතා  කියවමින් ඉද්දී චන්දරේ එතැනට මේසයක්ද බෝතල් හා බයිට්ද එව්වේය.    

බොන්නට හදිස්සිය තිබුණේ එරික්ටය, ඌ අපේ කණ්ඩායමේ ලලනිගේ මනුස්සයා උනත් ඒ කාලයේ සිටම ලලනිට වඩා අපි යාලු පිට් එක පවත්වාගෙන ගියේ එරික් එක්කය.     බෝතලේ කඩපු ගමන්ම එරික් මෙලෝ සිහියක් නැතුව ගහන්නට පටන් ගත්තේය.    ඒ කොහොමද කිව්වොත් අපි එක ෂොට් එකක් ගද්දී ඌ ෂොට් දෙක තුනක් දාගනී.    ටිකක් හිමිහිට බොන්න කිව්වට අහන්නෙත් නැත.    සුපුරුදු විදියට ගෑණු ටික බයිට් පිඟන් හිස්කරද්දී බෝතලයද හිස්විය.   බෝතලෙන් තුන්කාලක් විතර බිව්වේ එරික්ය, ඉතුරු ටික අපි තුන්දෙනා බීවෙමු.   බෝතලේ ඉවරවූ පසු වටපිට බැලු එරික් මේසේ උඩ තිබුණු අපේ වීදුරුද හිස්කලේ එක හුස්මටය.    දැන් එරික්ට හොඳ පදමට වැදී කෙලින් හිටගන්නවත් බැරි සයිස්ය. 

බෝතලේ ඉවරවුණත් තව බෝතලයක් ගෙන්නා නොගත්තේ එරික් ඒකෙත් වැඩි හරිය බීගෙන බිම වැටුණොත් එහෙම උස්සාගෙන යන්නට වෙන නිසාය.   ඌ දැන් මෙලෝ සිහියක් නැතුව නන්දොඩවයි.   මම එතැන තිබුණු ටැප් එක ළඟ චන්දරේගෙ මස්සිනා එක්ක කතා කරමින් සිටිද්දී එරික් එතෙන්ටද ඇවිත් කියවන්නට ගත්තේය.    එරික්ගේ ඔලුව වටේට කෙස් තිබුණත් මැද තට්ටේය.   මට හොඳ වැඩක් මතක්වී එරික්ට කතා කළෙමි.

ඒයි  වරෙන්කො පොඩ්ඩක් !

මොකක්ද බං මළ කරදරේ! එරික් වැනි වැනී ආවේය.

උඹ මේකට ඔලුව අල්ලපන්, මම ටැප් එක අරින්නං!

ඒ මොන මඟුලකටද?

ඇයි යකෝ වෙරි බහින්න නෙ!

එරිකාට යකා නැග මට පලු යන්න බනින්නට විය.

මට කියන්නෙ උඹ අල්ලපන්කො, අනේ අම්මප! අපිත් හිතාගෙන ඉන්නෙ උඹල මහ බුද්ධිමත් මිනිස්සු කියලනෙ, ඔන්න බුද්ධියෙ හැටි!ඇයි පස්ස ගහන්නෙ ඇවිත් පෙන්නපන්කො මට ටැප් එකට ඔළුව අල්ලන හැටි.

එරික් ආවේස වූ කපුවා වගේ මට බැනගෙන බැනගෙන යයි, උගේ මූණ යකෙක්ගෙ වගේ විකෘති වෙලාය, ඇස්වලින් ගින්දර පිටවෙයි, කඩදාසියක් මුණට දැම්මත් එවෙලෙම දැවිලා අඟුරුවෙලා යන සයිස්ය.    මම වචනයක් වත් නොකියා පැත්තකට වී බලා සිටියෙමි.   උගේ බැනිල්ලට ගෑණු ටික බයවෙලාය, ලලනි හිමිහිට මට කතාකලාය.

ගණන් ගන්න එපා අනේ, දැන් එයාට හරියට කේන්ති යනවා !

මම මොනවා හරි කියා ආයෙම ගෝරිය වැඩිවෙයි කියා ලලනිට බය හිතිලාය, වෙරිවෙච්ච එකෙක් බැන්නාට මට කිසිම ගණනක් නැත, වෙරි උන උන් බයිට් කරන්නට ගිහිං මම බැණුම් අසා ඇත්තේ අදක ඊයෙක නොවේ.  ගෑණු ඒවා දන්නේ නැත, එඩ්ඩාත්,ගුණේත් එරික්ට යාප්පුවෙන් කතාකර පැත්තකට ඇදගෙන යද්දිත් එරික් කියවයි.

උඹේ ලොකුකම මට පෙන්නන්න එන්න එපා,  මට ඔය එකෙක්වත් ලොකු නෑ  තේරුණාද?  වරෙන් මම උඹට නාන හැටි කියල දෙන්න, මොකද පස්ස ගහන්නෙ?

ස්වප්නා බයවෙලා ඉන්නේ එරික්ගේ බැනිල්ලට මම හිත නරක්කර ගනී කියලාය.   ඇය බීතවී මගේ දිහා බලාගෙන ඉන්නේ ඒ නිසාය.

මේකට යකා වැහිලද මංදා?  ස්වප්නා කියයි.

වැඩේ ඔය විදියට ඇදී යද්දී කෑමට ආරාධනා ලැබුණි.  එරික්ට කෑම තියෙන තැනට ගියත් බෙදා ගන්නට බැරිය.   ඒ නිසා ඌ මේසයක  වාඩිකර ලලනි කෑම පිඟානක් බෙදා ගෙනැත් දුන්නාය.  කෑම එක උඩින් පල්ලෙන් අත ගෑ එරික් ටිකකින් කෑම පිඟානේ මුහුණ ඔබාගෙන නිදි කිරන්නට විය.   වෙරි බහින්නට අයිස්ක්‍රීම් දෙක තුනක් කවමු කියා ගුණේ කියපු නිසා ගෙනැත් දුන් අයිස්ක්‍රීම් එරික් ඇඟේ හලාගත්තේය.  කොහොම නමුත් අයිස්ක්‍රීම් දෙකක් විතර කවාගන්නට පුළුවන් වුණේ හත අටක් හැලුවාට පසුවය.   ඊට පසු එරික් ට පුටුවේ නිදාගන්නට ඇර අපිත් කෑමට ගියෙමු.    මඟුල ගෙදර තිබුණත් කෑම සපයා තිබුණේ කේටරින් සර්විස් එකකිනි. 

කේටරින් සර්විස් වලින් දෙන කෑම ඔක්කොම එකම රස බව මා මෙන්ම කේටරින් සර්විස් කෑම කා ඇති හැමෝම දන්න කාරණයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.   කේටරින් සර්විස්වලින් දෙන කෑමවල තියෙන චිකන්ද, මාළුද, පරිප්පුද, කජුද, බටු මෝජුද, ඉස්සෝද,කට්ලට්ද  ආදී මෙකී නොකී කෑම සියල්ලම එකම රසය.   ඒ නිසා හැමදේම බෙදාගෙන බලාපොරොත්තු කඩ කරගන්නවාට වඩා එක දෙයක් බෙදාගෙන කන එක හොඳ බව මගේ පුද්ගලික අත්දැකීමයි .    ඒ කොහොමද කිව්වොත් බතුත් පරිප්පු ටිකකුත් බෙදාගෙන කෑමය.   අවශ්‍ය නම් පපඩම් කෑලි කීපයක්ද, සැරක් වගේ උවමනා නම් මැලේ අච්චාරුවෙන් ළූණු සහ මිරිස් ස්වල්පයක්ද  එකතුකර ගත හැකිය.    අපි කට්ටිය පෝලිමේ ටික වෙලාවක් ගතකර කෑම බෙදාගෙන කන්නට එනවිට එරික් පුටුවක ඉඳගෙන වටපිට බලමින් සිටියේය.   මම උගේ ලඟින්ම වාඩිවී කන්නට පටන් ගත්තෙමි, ඌට දැන් අර කළින් බැනපුවා මොකුත් මතක නැත, මගෙත් එක්ක සුහදව කතා කරයි.

බලපංකො මුන් කියන සිංදු, මෙලෝ රහක් නෑනෙ බං!

එරික් කියන්නේ සංගීත කණ්ඩායම ගැනය.  මගෙත් ලැජ්ජ නැතිකමට ආයෙම කට ඉස්සර විය.

ඉතිං බල බලා ඉන්නෙ නැතුව ගිහිං කිව්වනං හරිනෙ!

මම බලා හිටියේ ආයෙම මූ මට බනින තුරු වුණත් පුදුමයකට වගේ එරික් මගේ කීම හිස් මුදුනෙන් පිළිගෙන සංගීත කණ්ඩායම පැත්තට ගියේ කැපිච්ච පණුවන් සේ ඇඹරෙමින් දඟලමින් නටන කොල්ලන් අතරිනි.    ස්ටේජ් එක ඉස්සරහට ගිය එරික් අත දික්කරමින් සංගීත කණ්ඩායමට මොනවාදෝ කියනු පෙනිණි.   ඈත ඉන්න නිසා එරික් කියනදේ අපට ඇහෙන්නේ නැත, ඌ ආපහු ආවේ සිනාවකින් මුව පුරවාගෙනය.   

තවත් ටික වෙලාවක් මඟුල් ගෙදර ගතකර චන්දරේගෙන් සමුගෙන අපි ආපහු ආවේ ගියා වගේම සුහද සිතිනි.  ඔය ඉහතින් කියා ඇති කතාව මම ස්වප්නාට කීවේ ආපහු එද්දී කතාකළ පැරණි රසාංග අතරේ ස්වප්නා කියූ නෝක්කාඩුවකට පිළිතුරු වශයෙනි.   ඇගේ ස්වරයේ වුයේ එදා අපි වෙන් නොවුණා නම් අද මේ ගමන මීට වඩා රසවත් වෙන්නට තිබුණා නොවේද වැන්නක් බව මට වැටහිණි.    කරගත් මඟුල ගැන ශෝකයක්ද ඇගේ වතේ තැවරී තිබුණු බව මට පෙනුණත් මම ඒ ගැන වැඩිදුර කතා කරන්නට නොගියේ දැන් ඒ පරණ දේවල් ගැන කතාකර කිසිම පළක් ප්‍රයෝජනයක් නැති හේතුවෙනි.

මඟුල් ගෙදර ඉවරවී දවස් තුන හතරකින් චන්දරේ මට කතාකළේය. 

අනේ මචං, එදා මට උඹල ගැන බලන්නවත් වෙලාවක් තිබ්බෙ නෑනෙ! හරියට කන්න බොන්න වත් ලැබුණද දන්නෙ නෑ, කොහෙද මට එක තැනක ඉන්න බැරි තරමට වැඩ ගොඩ !

ඒව හරි බං, දන්නවනෙ උඹේ ගෙදර අපි ආගිය නැති තැනක් යැ! 

කියන්නට උවමනා උනත් මම චන්දරේට නොකියූ කාරණය වුණේ මඟුල ගෙදර ගත්තා වගේම කෑම ටිකත් ගෙදරම හැදුවානම් කොච්චර හොඳද කියලාය.    ගෙවල් වල ගන්න මඟුල් ගැන කියද්දී මට මතක් වෙන්නේ ගුණේගේ අයියාගේ මඟුලයි.  ඒ මීට බොහෝ කාලයකට පෙර අපි කණ්ඩායමක් වශයෙන් ගිය පළවෙනි මඟුල හැටියට මගෙ හිතේ සටහන් වී ඇත.   කතාව මෙතැන ලිව්වොත් පෝස්ටුව දිග වැඩිවන නිසා ආයෙම ලියන කතා ගොඩට දමන්නට සිතුවෙමි෴