අපි කතාකරමින් හිටියෙ ටෙස්ට් තත්වය ලැබීම ගැනනෙ...ඔන්න ඒ කාලෙම තමයි ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නෙ 1982 දි...හරියටම කිව්වොත් රූපවාහිනී සංස්ථාව පටන් ගත්තෙ 1982 පෙබරවාරි 14 වෙනිදා තමයි...ටෙස්ට් තත්වය ලැබෙන්නට සමගාමීව ඒ වැඩෙත් සිදුවුණා.
ඔය සමගාමීව කියන වචනෙ දැන් හැමතැනම නැගල යනවනෙ...අහවල් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිංකම එහෙම නැත්නම් වෙසක් දන්සැලට සමගාමීව පැවැත්වෙන භක්ති ගීත සංදර්ශනය ආදී වශයෙන්...මට මතක හැටියට ඔය කතාව පටන් ගත්තෙ ගම් උදාවෙන්...5 වන ගම් උදාවට සමගාමීව ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වාගෙ කතා ඒ දවස්වල ඇහුණනෙ...ඔය මාළිගාවිල හිටි පිළිමෙ කෙළින් කළෙත් බුත්තල ගම් උදාවට සමගාමීවනෙ.
බුත්තල ගම් උදාව කියනකොට මතක් වුණේ ඔය ගම් උදාවලට සමගාමීව පා ගමනුත් පැවැත්වුණා...රටේ හතර කොණකින් පටන් අරන් එක දවසකදි ගම් උදාවට ළඟාවෙන්න තමා මේ පා ගමන් සංවිධානය කරල තිබ්බෙ...පා ගමන ගම් උදාවට එනකොට පිළිගන්න සූදානම් වෙලා ජනාධිපති ප්‍රේමදාස මහත්තය ඇතුල්වෙන තොරණ ළඟ බලා ඉන්නව.
වැඩිපුරම පා ගමන් ආවෙ 1992 දි බුත්තල තිබ්බ ගම් උදාවට මගෙ හිතේ...ඒ කාලෙ මම වැඩකළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙ...අපේ දෙපාර්තමේන්තුවටත් ගම් උදාවෙ ලොකු ගොඩනැගිල්ලක් වෙන්කරල තිබුණා...ජූනි මාසෙ මුල ඉඳලම අපේ වැඩේ කොළඹ ඉඳන් බුත්තල යන එක...ගොඩනැගිල්ල බලන්න යනවා,ගොඩනැගිල්ල බාරගන්න යනවා,බඩුමුට්ටු ගිහින් දාන්න යනවා,සරසන්න යනවා ආදී වශයෙන් ගම් උදාව පටන් ගන්න කලින් දහ ගමනක්වත් බුත්තල ගියා...මොකද පවුල් බරක් තිබුණු එකක්යැ...නැගපල්ල වාහනේට කිව්ව ගියා...කොල්ලො කාලෙනෙ.
මම වැඩකලේ දෙසතිය සඟරාව බෙදාහැරීම බාරවනෙ...දෙසතිය අලෙවිහලකුත් අපේ ගොඩනැගිල්ලට ඇතුල්වෙන තැනම දාන්න ලෑස්ති කරල තිබුණෙ...ගම් උදාව පටන් ගන්න දවස් දෙක තුනකට කලින් දෙසතිය සඟරා ලොරියකුත් අරගෙන මම බුත්තල ගියා...මගෙ සහායට හිටියෙ රාජපක්ෂ, ගෝලයො දෙන්න සෝමපාලයි කාලිංගයි,රියැදුරු ජයකොඩි, ජයකොඩිට වාහනේ එළවද්දි නින්ද ගිහින් වෙච්චි අකරතැබ්බයක් නිසා කොළඹින් තව රියැදුරෙකුත් එව්වා පේමරත්න කියල කොල්ලෙක්...ඊට අමතරව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වුනු පර්සි උමගිලියත් අපිත් එක්ක එකතුවුණා.
අපට නවතින්න සූදානම් කරල තිබුණෙ සංස්කෘතික අමාත්‍යංශයට අයිති කතරගම හින්දු රෙස්ට් එක...ගම් උදාව පටන් ගන්නෙ හවස හයට,ඉවර කරන්නෙ රෑ දොළහට,අපි බුත්තල කතරගම රජ මාවතේ යන්නෙ එන්නෙ ජයකොඩි එළවපු ඩැට්සන් පිකප් වාහනේ...රජ මාවත වැටිල තියෙන්නෙ යාල කැළේ 4 වෙනි කොටස මැදින්නෙ...රෑ එකට විතර ඔය පාලු පාරෙ ජයකොඩි පාගනවා ඊ ගහේ වේගෙන්.
ගමනෙ බාගයක් යන්නත් ඉස්සර මට සීට් එකේ නින්ද යනවා...එකපාරට ඇහැරෙන්නෙ ජයකොඩියගෙ කෑගැහිල්ලට...
අන්න...අන්න සර් දැක්කද...
මොනවද බං...
අලියෙක් අලියෙක්...
ජයකොඩි වාහනේ එලවන වේගෙට අලියෙක් තියා මහ ගල් පරුවතයක්වත් පේන්නෙ නෑ,සිං සිං ගාල පාස්වෙනව විතරයි...ඔය විදියට කතරගමට යනකල්ම ජයකොඩි අපට අලි පෙන්නනවා.
පාන්දර කතරගමට ගිහින් ඇඳට වැටුනම ඇහැරෙන්නෙ පහුවදා හොඳටම දවල්වෙලා...නාල කරල ලෑස්තිවෙලා යනගමන් රජ මාවතේ තියෙන පොඩි කඩේකින් තේත් බීල බුත්තලට යන්නෙ දවල්ට කන්න බලාගෙන.
අපේ දෙපාර්තමේන්තුවටම අයිති රජයේ චිත්‍රපට අංශයෙ චිත්‍රපට පෙන්නන අයත් වාර්තා චිත්‍රපට පෙන්නන්න ගම් උදාවට ඇවිත් ඒ ගොඩනැගිල්ලෙම නැවතිලා හිටියා...ඒ අයට දවල්ට ඇති වැඩක් නෑනෙ,ගෑස් කුකර් වළං හට්ටි මුට්ටි ගෙනත් ඒ ගොල්ලො උයනවා...අපිත් කන්නෙ ඒ අය උයන කෑම,කඩගානෙ යන්න ඕනැනෑනෙ හොඳට රසට උයල දෙනවා...දවසක්දා ඔය එක්කෙනෙක් මට කියනවා...
මහත්තය...එනකොට ඔය පාර අයිනෙ විකුණන්න තියෙන එළවලු මාලු එහෙම අරගෙන එන්න...ඒවයෙ වියදම කෑම සල්ලිවලින් අඩුකරන්න පුළුවන්නෙ...
ඔන්න ඊට පස්සෙ මමත් කන්න ආස කෑම ජාති එනගමන් මගින් අරගෙන උයන්න ගෙනත් දෙනව.
ගම් උදා භූමියට මත්පැන් ගෙනෙන්නත් තහනම්...ගෙනැල්ල අහුවුණොත් ගේට්ටුවෙ තියාගන්නව...බොන්න ඕනැනම් බුත්තල බාර් එකෙන් තමයි.
අපි කොළඹින්ම බඩු ගෙනිච්චා...ඔය ඩැට්සන් පිකප් එකේ පිටිපස්සෙ සීට් එක කඩන්න පුළුවනි,අපි කලේ සීට් එක කඩල බෝතල් ටික ස්ප්‍රිං අස්සෙ ගැහුවා...ගේට්ටුවෙන් එච්චර දුරට චෙක් කරන්නෙ නෑනෙ,ඔය විදියට කිසිම අතුරු අන්තරාවක් නැතිව අපි බෝතල් ඇතුළට අරගෙන ගියා.
බුත්තල දවල්ට ගිණි අව්ව,උඩින් ඉර අව්ව, යටින් තාර රත්වෙලා මක්කොරලවත් දවාලක එළියට බැහැල යන්න අමාරුයි...දවල්ට ගිණි අව්වෙත් රෑට නිදි මරමිනුත් අපි බොහොම සතුටින් ගම් උදා රාජකාරියෙ යෙදුණා.
ජනාධිපති ප්‍රේමදාස මහත්තය ගම් උදා ආරම්භක උත්සවය ඉවරවෙලා ගම් උදාවෙ හැම ප්‍රදර්ශනාගාරයක්ම නරඹමින් පයින්ම ඇවිදිනවා...එතුමා එන්න කලින් අපි ගොඩනැගිල්ල නීට් එකට හදල තියල බිම පොලිෂ් කරවල තියනවා...ඇවිත් ගියාට පස්සෙ ගාණක් නෑ හැමතැනම කෑ ගගහ දඟලනවා, ආයෙ පහුවදානෙ එන්නෙ.
ප්‍රේමදාස මහත්තයට බොහොම ඉස්සර කාලෙ තිබුණලු මයිනර් කාර් එකක්...1ශ්‍රී 1961ද කොහෙද මට මතක හැටියට...
සැරයක් ගම් උදාව වෙලාවක ජනාධිපති තුමාට අපූරු කල්පනාවක් පහළ වෙලා...මොකක්ද කියනවනම් මේ පරණ මයිනර් කාර් එක එලවගෙන ගම් උදාව වටේ රවුමක් යන්න...උන්නැහේ ඔය වාගෙ සෝබන වැඩවලට බොහොම මනාපයිනෙ.
ඉතිං ප්‍රේමදාස මහත්තය මොකද කළේ තමන් හොඳට දන්න අඳුනන බාස් කෙනෙකුට එන්න කියල වාහනේ හොඳට රෙපෙයාර් කරල ඒ සී කරල දෙන්න කියල බාරදුන්නා...
බාසුත් වාහනේ අරන් ගිහින් සුපිරියට රෙපෙයාර් කළාට ඒ සී කරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැලු...බෑ කියන්නත් බෑනෙ කියපුදේ කොහොමහරි කරන්න එපායැ, කල්පනා කර හිටපු බාස්ට ටොප් අයිඩියා එකක් ඇවිත්...
බාස් ගිහින් තමන් දන්න අඳුනන ප්‍රිජ් හදන බාස් කෙනෙක් එක්ක ඇවිත් මයිනර් එකේ ඩිකියට මැෂිනරි එක සෙට් කරල බැට්රියකින් කරන්ට් එකත් දීල කාරෙක ප්‍රිජ් එකක් බවට පරිවර්තනය කළා...කොහොම උනාම මොකද සීතලනෙ ඕනැ වැඩේ ඉවරකරල බාස් ගිහින් මයිනර් එක ප්‍රේමදාස මහත්තයට බාරදුන්නා.
ප්‍රේමදාස මහත්තයත් පහුවදාම බොහොම උජාරුවෙන් මේ මයිනර් ප්‍රිජ් එකත් එලවගෙන ගම් උදාව වටේ රවුමක් ගියා...හැබැයි ප්‍රිජ් එකක් එලවගෙන ගියා කියල උන්නැහේ මැරෙනකල්ම දැනගෙන හිටියෙ නෑ.
ගම් උදාවෙ අපේ බිල්ඩින් එකට පාරෙන් අනික් පැත්තෙ ගස්වලින් වටවෙච්චි එළිමහන් පිටියක් තිබුණා...දවසක්දා දවල් ඔතනට කණ්ඩායමක් ඇවිත් මල් පැල් හදනව,අතුයහන් හදනව හූනියමක් කපන්න වාගෙ කට්ටිය ඕසෙට වැඩ...
මම ඒ වෙලාවෙ කම්මැලිකමට පාරෙ ඇවිද ඇවිද හිටියෙ...කාෂ්ට ගිණි අව්වට මගෙ විළුඹ හතර අතට පැලිල ඇවිදින්නත් හරිම අමාරුයි...ඒත් මේ මිනිස්සු මොකද කරන්නෙ කියල බලන්න මමත් කොරගගහ එතෙන්ට ගියා...
ම්ම්හ්...උං මාව සත පහකට ගණං ගත්තෙ නෑ,කතා කරනව තියා...මටත් ඔරෝල උං තම තමන්ගෙ වැඩ.
වටින් ගොඩින් ආරංචි කරල බලපුවාම මේ අය කට්ටඬියො කණ්ඩායමක්...එදා හැන්දෑවෙ ගරා යකුමක් නටනවලු එතන,ආතුරය ජනාධිපතිතුමා.
හවස්වෙලා ආතුර ජනාධිපතිවරයාගෙ ප්‍රධානත්වයෙන් ගරායක් නැටුම බොහොම ජයට පටන්ගත්තා ...උමගිලිය පින්තූර ගන්න ගියා,මාත් උමගිලිය එක්කම ගියෙ ඉස්සරහටම යන්න පුලුවන් නිසා...මම වාඩිවෙලා පැයක් විතර ගරායක් නැටුම බැලුව...උමගිලිය ඇවිද ඇවිද පින්තූර ගන්නව,කම්මැලි හිතිල මම නැගිටල ඇවිත් අපේ ගොඩනැගිල්ලෙ ඉස්සරහ වාඩිවෙලා හිටිය...එකපාරටම හයි ඒස් වාහනයක් මම හිටපු තැන ඉස්සරහ පාරෙන් ගියා...ඇතුලෙ හිටියෙ දෑතින්ම ඔලුව බදාගත්තු ජනාධිපති තුමා...
මට දැන් හරි ප්‍රශ්නෙ නැටුම ඉවරවෙන්න කලින් මේ මනුස්සය ඔලුවත් බදාගෙන යන්න ගියෙ මොකද කියල...
ටිකකින් උමගිලිය ආවා...
මොකද වුණේ...
උමගිලිය බඩ බදාගෙන හිනාවෙනව...හිනාවෙලා ඉවරවෙලා මට කතාව කිව්වා...
ප්‍රේමදාස මහත්තයගෙ ඔලුවෙ පිටිපස්සට වෙන්න තට්ටෙ...ඉස්සරහින් කෙස් පස්සට පීරල ජෙල් ගාල එහෙම කොණ්ඩෙ නීට් එකට හදාගෙන ඉන්නෙ තට්ටෙ නොපෙනෙන්න.
කට්ටඬියො ටික නැටුමෙ අන්තිම හරියෙ බලාගෙන ඉන්න අයට සෙත් පතනව අඹ අත්තක් ඔලුවට තිය තියා...එකෙක් ප්‍රේමදාස මහත්තයගෙ ඔලුවට අඹ අත්ත තියල යාතිකාවක් කියල සෙත් පතල අඹ අත්ත ඔලුවටම තදකරල පස්සට ඇද්දලු...ඒ ඉතිං වැඩි හොඳට...
ඒ වුණේ මොකක්ද කෙස් ටික ඔක්කොම ඉස්සරහට වැටිල තට්ටෙ පෙනෙන්න අරගෙන...ඒ වෙලාවෙම ජනාධිපතිතුමා එතනම තිබුණු වාහනයට නැගල ඔලුවත් බදාගෙන යන්න ගිහින්...
ඕං ඕව තමා ගම් උදාවෙ රස කතා...ඒ උනාට මම කියාගෙන ආවෙ වෙන කතාවක්නෙ.
මම කියාගෙන ආවෙ ටෙස්ට් මැච් එකට සමගාමීව ලැබුණු රූපවාහිනී සංස්ථාව ගැනනෙ...ඉතිං මේ ළදරු රූපවාහිනී සංස්ථාව ටෙස්ට් තරඟයේ සජීවී ප්‍රචාරයක් දවස් පහේදිම දෙන්න තීරණය කළා...මේ වැඩේ ඒ කාලෙ හැටියට විශාල කර්තව්‍යයක්,කිසිම පූර්ව අත්දැකීමක් නැතිව හැම දේම අලුතෙන් නිර්මාණය කරන්න වෙලා තිබ්බ පසුබිමක රූපවාහිනියෙ පළමුවෙනි සභාපතිවරයා හැටියට පත්වෙලා හිටපු ඉතාම පරිණත ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් වෙච්චි මාපටුනගේ ජේම්ස් පෙරේරා හෙවත් එම්.ජේ.පෙරේරා මහතා ඉතා කැමැත්තෙන් මේ අභියෝගයට අත තිබ්බා.
මතු සම්බන්ධයි