අපි පහුගිය දවස්වල මොනම දෙයක් ලිව්වත් කිසි කෙනෙකුගෙ අවධානයට ලක්නොවීම සයිබරයේ සිහින බක්මහ උළෙලේ දැවැන්ත සෙවනැල්ලට වැහිල යනවනෙ,එහෙම වුනොත් මහන්සිවෙලා ලියන දේ අපරාදෙ නොවැ කියල පහුගිය ටිකේ සද්දෙ වහගෙන ටිකක් නිකං හිටියා...
සිහින බක්මහ උළෙල ගැන හය හත් දෙනෙක්ම පෝස්ට් ලියා තිබුණත් මගේ පුද්ගලික මතය අනුව ඒ සියල්ල අතරින් හොඳම පෝස්ටුව බස්සි ලියු ''හැබැහින් දුටු සිහිනය''යි,ඔබට වෙනම මත තියෙන්නට පුළුවනි නමුත් මගේ අදහස අනුව මා දුටු ඉතාම ප්රශස්ත පෝස්ටුව එයයි...
සිහින බක්මහ උළෙල ගැන මටත් කියන්න අදහසක් තියෙනවා කිව්වට තරහ වෙන්න එපා,මෙතෙක් පැවති සිහින බක්මහ උළෙලවල් අතරින් ඉතාම සාර්ථකවූ සහ වැඩිම පිරිසක් සහභාගිවූ බක්මහ උළෙල මෙයයි කියා සියළුම දෙනා කතාවුනත් කලින් පැවැත්වුණු බක්මහ උළෙලවල් වලදී දකින්නට ලැබුණු දුර්වලකමක් මෙවරත් නොඅඩුවම දකින්නට ලැබුණා,ඒ මොකද්ද කිව්වොත් බක්මහ උළෙලට පැමිණි සමහර බ්ලොග්කරුවන්ට එකිනෙකා හඳුනාගැනීමට අවකාශයක් නැතිවීම,සමහරු එකිනෙකා හඳුනාගෙන තියෙන්නෙ ආපහු ගෙවල්වලට ගිය පසුවයි,මෙන්න මේ විදියෙ කතා තැන තැන තියෙනව මම දැක්කා...
ආ මචං උඹත් ඇවිත් හිටියද මම දැක්කෙ නෑනෙ...
එහෙම නැත්නං,
අනේ මට කතා කරන්න බැරිවුනානෙ අඳුනගත්තෙ නැති නිසා...
ඒ කියන්නෙ මෙවරත් පෙර වතාවලදී වගේම කලින් දන්න හඳුනන අය එකතුවෙලා කතාබහ කරගත්ත මිසක පොදුවේ සියළුම බ්ලොග්කරුවන් හඳුනාගැනීමට වැඩ පිළිවෙලක් මෙදාත් සැකසී තිබුණේ නැහැ...
අපේ ජ්‍යෙෂ්ට බ්ලොග් කරුවෙක් වන මාතලන් කියල තිබුණු කතාවක් මට මෙතැනදී මතක්වෙනවා...
ආයෙනං එන්නෙ පිටේ බෝඩ් එකක් එල්ලගෙන...
අඩුතරමෙන් අන්න ඒ වගේ දෙයක්වත් කලානං වැදගත් කියා හිතන්නෙ නැතිද...
මෙහෙම ලියන එක ඔයගොල්ල මොන විදියට ගණං ගනීද කියල දන්නෙ නෑ සමහරවිට මෙච්චර හොඳට කරපු වැඩේ දොස් දකිනව කියල මට බනින්න පුළුවනි,ඒකට නං කමක් නෑ බැනල හරි වැඩේ කෙරෙනව නං සතුටක්...
මෙය ප්‍රදීප් නලින් සසිඳු ඇතුළු සංවිධායක මණ්ඩලයේ අවධානයට ලක්වේවා...
පිටේ බෝඩ් එල්ලන එක අපි ඉස්කෝලෙ යන කාලෙත් කළානෙ කාගෙ හරි ෂර්ට් කොලර් එකේ කඩදහි ගොට්ටක් එල්ලනව, එක්කො කලිසම පිටිපස්සෙ නැට්ටක් එල්ලනව ඔය වගේ හරිම ප්‍රාථමික ජෝක්ස් තිබුනෙ දැන් ළමයි නං ඔව්ව කරන්නෙ නැතුව ඇති ...
ඉස්කෝලෙ විතරක් නෙවෙයි ඔය වගේ වැඩ අපි ඔෆිස් වලත් කළානෙ,කලිසම්වල නැටි එල්ලන එක ෂර්ට් එකේ පිටේ බෝඩ් ගහන එක හරිම සුලභයි,තව දවසක මම මෙහෙම වැඩක් කළා එතකොට මම දෙසතියෙ වැඩකරන කාලෙ,ඔෆිස් එකේ ටයිපිං පුල් එකේ ඉන්න කාන්තාවො සැට් එකත් එක්ක අපි හරි එකතුයි හැම තිස්සෙම එකෙකුට බෝඩ් එකක් හරි නැට්ටක් හරි එල්ලන්න ට්‍රයි එකක් දීගත්ත ගමන් ඉන්නෙ,දවසක්දා මේ ටයිපිං පුල් එකේ කාන්තාවකට දවල් කෑමෙන් පස්සෙ පුටුවෙම නින්ද ගිහිං,කකුල් දෙකත් හොඳට මේසෙ යටිං එළියට දික්කරගෙන එහෙම,මම කරපුදේ ස්ටෙන්සිල් කරෙක්ෂන් කුප්පියත් අරං ගිහිං මේසෙ යට ඉඳගෙන මෙයාගෙ කකුලෙ ඇඟිලිවල නියපොතු දහයම පාට කළා...
(ඉස්සර කාර්යාලවල දිනපතාම පාවිච්චිවෙන පෝරම වර්ග එක එක ආකෘති පත්‍ර එහෙම රෝනියෝ මැෂින් එකේ හෙවත් ඩුප්ලිකේටරේ රෝනියෝ කළා,රෝනියෝ කරන්න අවශ්‍ය ආකෘති පත්‍රය ස්ටෙන්සිල් එකක කපනව හෙවත් යතුරු ලියනය කරනවා,ස්ටෙන්සිල් එක කපද්දී වරදින තැන් මකන්න රෝස පාට කරෙක්ෂන් ෆ්ලුයිඩ් එකක් පොඩි කුප්පියක ආවා මූඩියටම සවි කරල තිබුණු පොඩි බ්‍රෂ් එකකුත් එක්ක)
මෙයාට ඇහැරුනාම මේ වැඩේ දැකල කරපු එකාට දෙස් දෙවෙල් තියනව,වැඩියත්ම ලැජ්ජාව කකුලෙ නියපොතුවල තද රෝස පාට ගාගෙන පාරෙ බැහැල යන්න පුළුවන්යැ...
අනේ මේ විස මගේ නියපොතුවල ගාල බලන්ඩකො තුවාල වෙයිද දන්නෙ නෑ පොඩ්ඩ ඇත්නං මගෙ කකුලෙ ඇඟිලි තුවාල වෙනව...
ආ ඔයා යන ගමන් තිනර් කාලක් අරං ගිහිං නියපොතුවල අතුල්ල ගන්න පාට මැකිල යයි...
මම මොකුත් නොදන්න මිනිහ වගේ කියපුවම මේ මනුස්සය මගෙ ඇඟට කඩා පැන්න...
ඒ මගෙ ඇඟිලි ටිකත් හලන්න වැඩක්, තිනර් ගෙනිහින් උඹේ නියපොතුවල ගා ගනිං මම නං මොකුත් ගාන්නෙ නෑ මේ පාට ටික නිකංම ගැලවිලා යයි...
කිව්වත් වගේම කකුලෙ ගාල තිබුණු පාට ටික දවසකින් දෙකකින් පොතු ගැලවිල ගියා...
දැන් එහෙම ඔය වැඩ කරන්න ගියානං කාන්තා හිංසනය කියල මට පොලිසි උසාවි ගානෙත් යන්න වෙනව,කාලෙකට ඉස්සර අන්නාසි හොරෙං කඩල පොලිසි ගියාට පස්සෙ පොලිසියකට ගිහිල්ලත් නෑ, ආ නෑ නෑ මේ මෑත කාලෙකත් කුණු කේස් එකකට පොලිසි යන්න උනානෙ ඒ මේ ටවුමෙ චණ්ඩි කියල බෝඩ් ගහගත්තු සැට් එකකුත් එක්ක ගහගෙන, ඒ අපේ ග්‍රවුන්ඩ් එකේ කේස් එකක් ඒකත් මරු කතාව අප්පා දැන් ලියන්න නං කම්මැලියි...
පොලිසියෙන් කිසි අවුලක් වුනේ නෑ ඒ උනාට ගෙදර පොලිසියෙන් නං ලේසියෙන් බේරෙන්න බැරිවුනා බැනුං කියන්නෙ බලු බැනුං,අර ෂුකාර් සීයා කියන්නා වගේ වාතෙ කොච්චර බැනුං වලින් පිරුණද කිව්වොත් මැස්සෙකුටවත් පියාඹන්න ඉඩ නැතිවුණා...
කොල්ල වෙන්න යනව,ලොකු මහත්වෙච්ච දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් කියල හිතෙන්නෙ නැද්ද කොල්ලොත් එක්ක ගහගන්න යන්නෙ...
ඉතිං කොල්ලො ගහගන්නකොට මට දුවන්න කියලද ඔයා කියන්නෙ...
ඔයා ගෙදර එන්න එපායැ මොකෙක්හරි බැට් එකකින්වත් ඔලුවට පතබෑව නං කාට කියන්ඩද,අනේ අම්මේ මේ මනුස්සය කරගන්න වැඩවලට නං මට මොහොතක් නිවී සැනසිල්ලෙ ඉන්න විදියක් නැතිහැටි,දැන් ඉතිං පොලිසි ගානෙ බඩගාපල්ලකො වෙන වැඩ නැතුවට...
අනික වලිය යන වෙලාවෙ සරත් අයියත් එක්ක එකතුවෙලා මම ගුරුවරුන්ගෙ පානයෙන්(වචනයේ අයිතිය මාතලන්ගෙ) තරමක් සප්පායං වෙලානෙ හිටියෙ ඉතිං බඩේ චණ්ඩිය හින්ද වලි හොය හොයා යන්නෙ...
හොඳයි මම ගහගත්තම මක් වෙනවද දරුවො දෙතුන් දෙනෙක් ඉන්න වඩුරාළ අමරෙත් රණ්ඩුවට පැටලුනේ එහෙනං,මටත් ගහගන්න කික් එක දුන්නෙ අමරය තමා...
කෙළල දාමු මහත්තයො,මොනවද බල බලා ඉන්නෙ මම නියනකුත් ඉනේ ගහගෙන ආවෙ...
අර තොටිල්ල හදල දුන්න අමරෙ මතකනෙ,අපට ග්‍රවුන්ඩ් එකක් නැති කාලෙ සෙල්ලං කලේ අවුරුදු උත්සව තිබ්බෙ අමරෙගෙ ගේ ළඟ වෙල්යායෙ,වෙල්යායත් එක්කම තිබුණු ගොඩැල්ලක වඩුමඩුවත් එක්කම පොඩි ගෙයක් හදාගෙන දරු පවුලත් එක්ක පදිංචිවෙලා හිටපු අමරෙ අපි වෙලේ බෝල ගහද්දි අවුරුදු උත්සව කරද්දි මුළු හදවතින්ම අපට සහයෝගය දුන්නා...
ඔන්න එක අලුත් අවුරුද්දක අපි විවාහක අවිවාහක එල්ලෙ මැච් එක වෙලේ ගහනව,තරඟය හරි උණුසුම් මම අමරෙගෙ ගේ ළඟ කණ්ඩියෙ ඉඳගෙන තරඟයෙ විස්තර ප්‍රචාරය දෙනකොට අමරෙත් මගෙ ළඟටම වෙලා නියරෙ ඉඳගෙන මැච් එක බලනවා...
විවාහක කණ්ඩායමෙන් එල්ල වුනු පහරකට බෝලෙ උඩින්ම අපි ඉන්න හරියට එද්දී ඒ ළඟ හිටපු අමරෙගෙ ලොකු කොල්ල කුමාර බෝලෙ අල්ලගන්න දුවගන ගියා නමුත් බෝලෙ අතඇරුනා, විස්තර ප්රචාරෙට මම දැන් ඒකත් කියනව...
ඉතාම පහසු උඩ පන්දුවක් මේ මොහොතේ අතහරිනු ලැබුවා,ඒ අනුව විවාහක කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් දවාගන්නට තිබුණු හොඳ අවස්ථාවක් මග ඇරුනායි කියල කියන්නට පුළුවනි...
මම කියවගෙන යනකොට අමරෙ හිමි හිමිහිට මගේ ලඟට ආවා...
දන්නවද මහත්තයො ඕකා බෝලෙ අතඇරියට බාල්හිත් මැටිකෝප්පයක් එහෙම උඩින් ආවනං බදල අල්ලගන්නෙ...
අමරයට මේව කොහෙන් කටට එනවද මං දන්නෙ නෑ මට හිනාගිය තරම කියන්නෙ කරමින් හිටපු වැඩේ කරගන්න බැරිවුනු ගමන මම මයික් එක වෙනුජට දීල පැත්තකට ගිහිං ඇස්වලින් කඳුළු පනිනකල් හිනාවුනා...
ආයෙම 1991 සාක් සමුළුව තිවුනනෙ,එක්කොත් ඒ කතාව වෙනම ලියමු දැන් කියන්න ගියොත් එකින් එක එකින් එක වැඩේ දිග දුර යනවා෴
ආයෙම 1991 සාක් සමුළුව තිවුනනෙ,එක්කොත් ඒ කතාව වෙනම ලියමු දැන් කියන්න ගියොත් එකින් එක එකින් එක වැඩේ දිග දුර යනවා෴